Tamil (Sri Lanka)English (United Kingdom)

casrilanka

    Font size
  • Increase font size
  • Decrease font size

නිශ්චය නොකරන ලද ව්‍යාපාර අස්තිත්ත්ව විගණනය සඳහා වන ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිය ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය මගින් දකුණු ආසියාවේ ප්‍රථම වරට හඳුන්වා දෙයි.

ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිත පනත මඟින් නිශ්චය නොකරන ලද ව්‍යාපාර අස්තිත්ත්ව (Non-SBEs) විගණනය සඳහා වන ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිය උත්සවාකාරයෙන් හඳුන්වා දීම 2018 අගෝස්තු 30 වන දින ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතන සාමාජික ශාලාවේදී පවත්වන ලදි. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ කර්මාන්ත සහ වාණිජ කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය රිෂාඩ් බද්යුද්දීන් මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය (CA Sri Lanka) මඟින් ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිත පනත මඟින් නිශ්චය නොකරන ලද ව්‍යාපාර අස්තිත්ත්ව සඳහා වන ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිය හඳුන්වාදීමත් සමගම එම ප්‍රමිතිය භාවිතා කරන දකුණු ආසියාවේ ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත් වන බව සඳහන් කළේය.

එම විගණන ප්‍රමිතිය හඳුන්වාදීමේ උළෙලේදී තම අදහස් දැක්වූ බද්යුද්දීන් අමාත්‍යවරයා "අප රට මෙම විගණන ප්‍රමිතිය පවත්වාගෙන යන දකුණු ආසියාවේ ප්‍රථම රට බවට පත් වන බැවින් මෙය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් සන්ධිස්ථානයක්" යැයි සඳහන් කළේය.

මෙම ප්‍රමිතිය හඳුන්වා දීම මෙරට කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතුළු විධිගත නොවූ ව්‍යාපාරික අංශ ගෝලීය වෙළඳපොල සමග එක් කිරීම සඳහා ගන්නා ලද දැවැන්ත පියවරක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

"කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආර්ථීක වර්ධනයට සහ රැකියා ක්ෂේත්‍රය සඳහා ඉතා තීරණාත්මක භූමිකාවක නිරත වන බැවින් එය ශ්‍රී ලංකා ආර්ථීකයේ ඉතා වැදගත් කොටසක් ලෙස සැලකෙනවා. මෙරට 3 දෙනෙකු බැගින් සේවය කරන එබඳු ව්‍යාපාර මිලියනයකට අධික ප්‍රමාණයක් පවතිනවා. අප මෙම ලියාපදිංචි නොවූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සමස්ථයට එක් කළ විට අපේ දළ දේශීය නිෂ්පාදිතය සඳහා එහි වැදගත්කම ඉතා පැහැදිලිව දිස් වෙනවා." අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

මෙරට ගිණුම්කරණ සහ විගණන ප්‍රමිතීන් ප්‍රකාශයට පත් කිරීමේ බලය සහිත එකම ආයතනය ලෙස ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය මගින් විධිගත නොවූ මෙම ව්‍යාපාර රටේ ආර්ථීකය සමග බද්ධ කිරීම ඉතා වැදගත් පියවරක් බවද අමාත්‍යවරයා පැවසීය.

"විගණන ප්‍රමිතීන් ව්‍යාපාර කටයුතු වලදී දීර්ඝ කාලීන අවශ්‍යතාවයක් ලෙස සැලකෙනවා. එබැවින් මෙම විගණන භාවිතයන් සෑම අංශයක් කරාම ව්‍යාප්ත කරන මෙන් මා ඉල්ලා සිටිනවා. එසේම ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් සංවර්ධනය කිරීම සඳහා විවිධ පියවර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයට මගේ ප්‍රශංසාව මේ මොහොතේ පුද කර සිටිනවා." බද්යුද්ධින් මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාවේදී තම අදහස් දැක්වූ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ සභාපති ජගත් පෙෙර්රා මහතා නිශ්චය නොකරන ලද ව්‍යාපාර අස්තිත්ත්ව සඳහා වෙනම විශේෂ ප්‍රමිතියක් හඳුන්වා දුන් ප්‍රථම වතාව මෙය බව සඳහන් කළේය. "වසර කීපයක සිටම මෙම විගණන ප්‍රමිතිය හඳුන්වාදීමේ අවශ්‍යතාවය මතුව තිබුණා. නමුත් මෙම අංශය සඳහා ප්‍රමිතියක් ගෙන ආ යුත්තේ කෙසේදැයි නිශ්චයකර ගැනීම සඳහා නිසි යාන්ත්‍රණයක් තිබුණේ නැහැ." ඔහු වැඩි දුරටත් පැවසීය.

නෝර්වීජීයානු රටවල භාවිතා වන මීට සමාන විගණන ප්‍රමිතියක් හැදෑරීමෙන් අනතුරුව එය මඟ පෙන්වීමක් කරගනිමින් මෙම ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිය සම්පූර්ණයෙන්ම නිර්මාණය කරන ලද්දේ වත්මන් සභාපතිවරයාට පෙර ආයතනයේ සභාපතිත්වය දැරූ ලසන්ත වික්‍රමසිංහ මහතා ගේ නියාමනය යටතේ දේශීය තාක්ෂණික කණ්ඩායමක් විසින් බව ජගත් පෙෙර්රා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

විගණන ලොව තුළ දිනෙන් දින නව ප්‍රමිතීන් රැසක් කරළියට පැමිණෙන බව සහ විගණනය කිරීමේ අවශ්‍යතාවයන් අඛණ්ඩව ව්‍යාප්ත වන බවද ඔහු විසින් පෙන්වා දෙන ලදි. "මේ ප්‍රමිතීන්වල පැවැත්මද සදාකල් නැහැ. එබැවින් අපේ අරමුණ වන්නේ නිරන්තරයෙන්ම මේවා අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි නැවත නැවත සංශෝධනය කරමින් යාවත් කාලී න කිරීමයි." ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

තව දුරටත් අදහස් දැක්වූ පෙෙර්රා මහතා ගණකාධිකරණ වෘත්තිය විප්ලවීය වෙනසක් තුළින් ගමන් කොට ඇති අතර එබැවින් සියලුදෙනා විසින් එම වෙනස්කම් පිළිගෙන ඒවා තම වෘත්තීය විශිෂ්ටත්වයක් කරා රැගෙන යාම සඳහා උපකාරී කරගන්නා ලෙස සඳහන් කළේය. "අපි වෙනස් නොවුණොත් වෙන්ස්වීම් මගින් අපව වෙනස් කරාවි. එබැවින් අප වෙනස්වීම අනිවාර්යයෙන්ම කල යුතුය" ඔහු පැවසීය.

විගණනය ස්වයංක්‍රීයකරණය කිරීමට මෙය නිසි කාලය බවද පෙෙර්රා මහතා සඳහන් කළ අතර එය ඉතා පහසු සහ ඵලදායී බවද පැවසීය. "මා මේ වන විටත් ඒ පිළිබඳව සොයා බලා විසඳුමකට එළඹීම සඳහා කණ්ඩායමක් යොදවා තිඛෙනවා." ඔහු පැවසීය.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ කුඩා හා මධ්‍ය පරිමාණ නියැලුම් කාර්ය බලකායේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා මෙම විගණන ප්‍රමිතිය හඳුන්වාදීම සඳහා ඉතා සුපරික්ෂාකාරි සාකච්ඡා වට සෑහෙන සංඛ්‍යාවක් පැවැත්වූ බව සඳන් කළේය. "අපි සාකච්ඡා වට, විවාද, යෝජනා ආදිය සඳහා රැස්වීම් 20කට අධික සංඛ්‍යාවක් පැවැත්වූවා. එය ලෙහෙසි පහසුු කාර්යයක් වූයේ නැහැ. ඊට හේතුව අපි මෙවැනි දෙයක් කළේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට වීමයි. ඉන්දියාව, පකිස්තානය වැනි රටවල් මේ සඳහා උත්සාහ කළත් තවමත් එය ඔවුන්ට සාර්ථක කරගැනීමට හැකිවී නැහැ. ඔහු පැවසීය.

ඒ මහතා මෙම හඳුන්වාදීම සිදු කිරීමට මනා දැක්මකින් යුුතුව විශාල මෙහෙයක් ඉටු කළ උප කමිටුවේ සභාපති සනත් ප්‍රනාන්දු මහතා ඇතුලු කණ්ඩායමට තම හෘදයාංගම ප්‍රණාමයද පුද කොට සිටියේය.

නිශ්චය නොකරන ලද ව්‍යාපාර අස්තිත්ත්ව සඳහා වන මෙම විගණන ප්‍රමිතියේ ප්‍රථම පිටපත ලසන්ත වික්‍රමසිංහ මහතා විසින් රිෂාඩ් බද්යුද්දීන් අමාත්‍යවරයා වෙත පිළිගන්වන ලද අතර එම අවස්ථාව සඳහා ජගත් පෙෙර්රා සහ සනත් ප්‍රනාන්දු යන මහත්වරුද සහභාගි වූහ.

CAPTIONS :

The first copy of the Auditing Standard (SLAuS) for the Audits of Non- Specified Business Enterprises (Non- SBEs) being presented to Minister of Industry and Commerce Rishad Bathiudeen by Chairman of the SMP Task Force Mr. Lasantha Wickremasinghe in the presence of CA Sri Lanka President Mr. Jagath Perera and Chairman of the Sub-Committee to Develop an Audit Framework for SME Audit Mr. Sanath Fernando.